බලු වලිගය (කෙටි කතාව)

උඹ වැඩිය කතාබහක් නෑ නේහ්
-මොනාද මෙහෙ කතා කරන්න තියෙන්නෙ?
ඉස්සරහට දැනගනියි මෙතන ඉන්න ඕන විදිය...
-එහෙමද...ගොඩක් කල්ද මෙහෙ ඇවිල්ල? මොනා කරලද ආවෙ?
මං ද? මොනාද නොකළේ කියලා අහපං බං...උඹ මොනාද කරේ?
-මැරුවා
අම්මටසිරි උපාසකයා වගේ සද්ද නැති වුණාට එල යකෙක්නෙ අඩෝ..කාවද මැරුවෙ..?
-----------------------------------------------
සර්..
- පසිදු, මගෙ නම පසිදු.
පසිදු සර්...හරි
-පසිදු සර් නෙවෙයි පසිදු ගිම්හාන්.පසිදු කියන්නකො...
එහෙම කතා කරලා පුරුදු නෑ සර්..
එහෙම කියපු එයා අහිංසකව හිනාවුණා..හිනාවෙනකොට වළ ගැසෙන වම් කම්මුල එයාට ගෙනාවෙ සුරංගානාවියකගෙ වගේ ලස්සනක්...
-මාත් එක්ක ඉන්නකොට එහෙම කතා කරන්න පුරුදු වෙන්නකො එහෙනම්
ඉන වටේ අත දාලා ළගට අරගෙන මං කිව්වෙ A/L කාලේ ආදරේ කරපු පියුමිව ළගට ගත්තා වගේම හැගීමකින්...
ගණුදෙනුවකට එහා ගිය හැගීමක් ඒ මොහොතේ මගේ හිතට වද දෙන්නට වූ නිසා තිබූ හදිස්සිය හිතෙන් ඈතකට පලා ගියා වගේ දැනුනේ...
ගම කොහෙද සදුනි ඔයාගෙ ?
- කුරුණෑගල සර්.
කොච්චර කල්ද මෙහෙ ඇවිල්ලා දැන්?
- දැන් අවුරුදු 3 විතර ඇති.
එච්චර කල් වෙනවද මේ වැඩේ පටන් අරන්..?
- අනේ නෑ සර් මං මුලින්ම වැඩ කරේ ගාමන්ට් එකක. එතන අවුරුදු දෙකක් වැඩ කරා...
ගාමන්ට් එකක වැඩට ආපු කෙල්ල කොහොමද මෙතන නතර වුණේ...පොඩිකාලෙ ඉදන් තිබුණ කුතුහලය ඇවිස්සුනේ ඉබේමයි..
ඉතින් ඊට පස්සෙ?
- පිරිමි සර්.. මාව පාවිච්චි කරා...මෝඩකමට මාත් අහුවුණා..
කතාව නතර වුණා එතනින්... ඒ කතාව අහලා Mood එක අවුල් ගියපු නිසා ආපු වැඩේ අමතක කරලා දැම්මා..
අනේ සර් ප්‍රශ්නයක් නෑ...එහෙම ගාණක් නෑ සර්...ඉන්නකො මං මූණ හෝදගෙන එන්නම් ඉක්මණට..
- නෑ කමක් නෑ ඒකට...මෙන්න සල්ලි..
-----------------------------------------------------
හෙලෝ සදුනි...
- ඔව් සර් කියන්න..
මං 1 ට ඔයාව ගන්න එනවා ලෑස්තිවෙලා ඉන්න..
- සර් අද මට සනීප නෑනෙ...අද වැඩට යන්නෙ නැති දවසක්
නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි..නිකං හම්බෙන්න ඕන කිව්වෙ...හරියටම 1ට නාවලට එන්න..මං ගන්නම් ඔයාව..
-හා සර් මං එන්නම්..
----------------------------------------------
ලා කහ පාට දිග ගවුමක් ඇදන් හිටපු එයාව ඈතදිම අදුර ගත්ත මගේ මූණට ආපු හිනාවෙ තේරුම මට තේරුණෙත් නෑ...
එක පාරට මතක් වුණේ ඉස්කෝලෙ කාලෙ බයික් එකෙන් පියුමිව හම්බෙන්න ගියපු දවස්වල ආපු හැගීම...
කාලෙකට කලින් දැනුන හැගීමක් මේ නොහදුනන කෙල්ල ගැන දැනෙන්නෙ ඇයි කියලා හිතාගන්න බැරිව ගියා...
සර්...
- එන්න සදුනි
එයාගෙන් ආපු සුවදින් වාහනය පිරුණා..
මං ලොකු හුස්මක් ගත්තෙ එයාවම ඇග ඇතුළට උරාගන්න වගේ...
---------------------------------------------
කාලය ගෙවුණා...මට එයාව ඇදට ගන්න හිතුණෙ නෑ කිව්වොත් ඒක අමු බොරුවක්...මාත් කොල්ලෙක්නෙ...ඒත් එහෙම හදිස්සියක් තිබුණෙ නෑ...මට ඕන වුණේ එයා ගාවට වෙලා ඉන්න...එයා කියන කතා අහං ඉන්න.
මාව හම්බ වෙන්න ගත්තම මං එයාට අලුත් තැනක අලුත් රස්සාවක් හොයලා දුන්නා..
කාලයත් එක්ක එයාගෙ අතීතය ටික ටික වළදාන්න අපිට පුළුවන් වුණා කියල මං හිතුවෙ...
එක දවසක් මං එයාට කිව්වා අපි කසාද බදිමු කියලා...
එයා වචනයක්වත් කිව්වෙ නෑ...එක දිගට ඇඩුව...
මං එයාව තුරුලු කරගෙන එයාට එහෙමම අඩන්න දුන්න...
---------------------------------------------
එයාගෙ අතීතය දැනගෙන හිටියෙ එයයි මායි විතරයි කියලා මට හිතන්න ඕන වුණා...
අතේ ඇගිලි ගාණකටත් වඩා පිරිමි ටිකක් එයාගෙ ඇගේ හැම උපන් ලපයක්, හැම රස තැනක්ම දන්නවා කියන කාලකණ්නි ඇත්ත මගේ හිතට වද දුන්නා...
ඒත් ඒක කවදාවත් එයාට නොපෙන්නන්න මං පරිස්සම් වුණා..
කාලය හෙමින් හෙමින් ගෙවිලා ගියා.. අතීතය අතීතයක්ම වෙමින් තිබුණා..
-----------------------------------------
ඒ කාලකණ්නි දවස ආවා...
එදා ඇගට ටිකක් හරි නැති නිසා ටිකක් වේලාසනින් ගෙදර එන්න පිටත් වුණා...
මං ගෙදර එනකොට මං දැක්කෙ එයා...මං ආදරේ කරපු...මං අලුත්ම ජීවිතයක් දීපු එයා...
වෙන මිනිහෙක්ට තුරුල් වෙලා ඉන්නවා...මගේ ගෙදර..අපේ කාමරේ...අපේ ඇදේ....!!!
අතට අහුවුණේ මොකක්ද මන්දා යකඩ පොල්ලක්...
මං ආදරෙන් ඉඹපු ඒ මූණ, සෙනෙහසින් තුරුලු කරගත්ත ඒ කෙල්ල...
මං ආදරේ කරපු සදුනි...එයා බේරිලා තිබුණේ නෑ...හොස්පිටල් එකට ගෙනියනකොටත් එයා නැති වෙලා..
එයත් එක්ක හිටපු එකා සදාකාලික අබ්බගාතයෙක් වෙලා ජීවිත කාලෙම ඇදට වැටුණා...
මං අද මෙතන..!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment