5 ට එයාගෙ වැඩ ඉවර වෙලා එනකන් බලන් ඉන්න එක මගේ පුරුද්දක්..
මාස ගාණකට කලින් ගත්ත ගෙවුණු සෙරෙප්පු දෙක දාගෙන හැමදාම 4.45ට මං එතනට එනවා දකින පිටස්ටරයෙක්ට මාව පේනවා ඇත්තෙ දුප්පත් අසරණයෙක් විදියට..
ඒත් ගේට්ටුවෙන් එළියට එන සිය ගාණක් කෙල්ලන් අතර ඉන්න එක කෙල්ලෙක්ට ඒක එහෙම නෙවෙයි...එයාගේ ලෝකයේ වටිනාම කෙනා මම...
හැබැයි ඒක ලෝකයා දන්නේ නෑ....ඒක දන්නෙ එයයි මමයි විතරයි..
ඇතුළෙන් ඇහුණු සීනුවෙ හඩ එක්ක ඇරුණු ගේට්ටුවෙන් පොඩි බෑග් එකත් කරේ එල්ලගෙන හෙමින් එළියට ආවෙ එයා...
මාව දැක්ක ගමන් එයාගෙ මුහුණට එන හිනාව දකින්න ඕන නිසා තමයි මං හැමදාම එයා වැඩ ඉවර වෙන්න කලින් ගෙට්ටුව ගාවට එන්නෙ...
දවසක මහන්සිය, ජීවිතයේ තෙහෙට්ටුව විඩාව නිවන මගේ ලෝකයේ ලොකුම සතුට, සැනසීම තමයි ඒ හිනාව...
මං දන්නවා එයත් කැමතියි ගේට්ටුවෙන් එළියට එනකොටම මාව දකින එකට...ඉතින් මං කොහොමද මගේ වස්තුවට ඒ අහිංසක සතුට නොදී ඉන්නෙ...
එයා ඇදන් හිටියෙ ගිය මාසෙ පඩියෙන් මං එයාට අරන් දීපු දණිස්ස ගාවට දිග රතු මල් වැටුණු ගවුම...
මං ඒකට ආසයි කියලා දන්න නිසාම එයා ඈත ඉදන්ම ගවුමට අත තියලා පෙන්නුවෙ මේ ඔයා දීපු එක කියන්න වගේ...
හෙමීට ඇවිදගෙන ඇවිල්ලා මගේ අතින් අල්ලගෙන ලාවට උරහිසේ මූණ තියාගත්ත විදියට මේ කෙල්ල ඉද්දි මට ලෝකයේ වෙන සතුටක් මොකටද කියලා හිතුණා...
ඒ ආපු හැගීමත් එක්ක එයාගෙ අත තවත් ටිකක් තද කරලා අල්ලගත්ත මම එයත් එක්කම පාර දිගේ ඇවිදගෙන ගියේ පුරුදු විදියටම හංදියෙ කඩෙන් බත් එකක් අරන් අපි වෙනදා කෑම කන තැනටම යන්න...
ඉස්සර සේපාලි මේ ගාමන්ට් එකේ වැඩට එන්න කලිනුත් මං රෑට කෑවේ මේ කඩෙන්මයි...
හැබැයි ඒ දවස්වල නම් කෑම එක මෙලෝ රහක් නෑ...බත් එකේ වැඩි ටිකක් කන්නෙ බෝඩිමේ බල්ලා...
හැබැයි බත් එක ලිහලා සේපාලිගෙ චූටි ඇගිලිවලින් අනලා කවන චූටි බත් කටවල් රහ කොහොමද කියලා මං හැමදාම කල්පනා කරනව...
සේපාලි කවන බත් කටවල් වලින් මට ඒ දැනෙන්නෙ මං විදින සේපාලිගෙ ආදරේ රහ වෙන්නැති...
කවදාවත් මේ කෙල්ල මගෙන් කිසි දෙයක් ඉල්ලලා නෑ... පඩි දවසට Film එකක් බලන්න ගියත් කන්න මුකුත් ගන්න කියන්නෙ නෑ...බලෙන්ම තමයි ටිපිටිප් එකක් අරන් දෙන්නෙ කන්න කියලා...ඒ කරලත් ඒක කඩලා පළවෙනි එක කවන්නෙ මට...
සේපාලියි මමයි ආදරේ කරන්න පටන් අරන් හෙටට අවුරුදු 2ක් වෙනවා...
මටත් ලොකූ හීන තිබුණේ නෑ...සේපාලිටත් එහෙමයි..ලොකු වාහන ලොකු ගෙවල් සේපාලිගෙ ලෝකයේ තිබ්බෙ නෑ...
හැමදාම හවසට මගේ උරහිසට හේත්‍තු වෙලා ඉදලා බොඩිම ගාවටම එක්කන් ගිහිල්ලා නලලට තියන හාදුව තමයි සේපාලිගෙ ජීවිතේ මහන්සිය නැති කරේ...
"සේපාලි අපි හෙට හවස බෙල්ලන්විල යමු"
හිනාවෙලා හා කියපු එයා ටික දුරක් ගිහිල්ල ආපස්සට හැරිලා හිනාවෙලා ආයෙ බෝඩිමට යන්න හැරුණා...
එයා යන දිහා බලන් හිටපු මට එක පාරට පිටිපස්සෙන් දුවලා ගිහිල්ලා එයාව අල්ලගන්න ඕන හිතුණා..
එක පාරටම අඩියට දෙකට ගිහින් එයාගෙ ඉන වටේ අත දාල අල්ලගෙන ආයෙත් එයාගෙ නලලට ආදරය කලවම් කරපු හාදුවක් දුන්නෙ "මං ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ මැණික" කියන ගමන්ම..
--------------------------
සුදු දිග සාය ඇන්දම එයා වෙනදටත් වඩා ලස්සනයි...
ඒක දන්න හින්දම ඉතින් මාත් අද අලුතෙන් එයා අරන් දීපු සුදු ෂර්ට් එක ඇදන් ආවෙ...
එයා ආසයි මං ඒ ෂර්ට් එක අදිනවට...
ගොඩක් දුර නැති නිසාටත් වඩා එයාගෙ අතින් අල්ලගෙන ඇවිදින්න මං ආස නිසා අපි පයින්ම පන්සල පැත්තට ඇවිද්ද...
බුදු මැදුර උඩ මල් ටික තියලා ලස්සනට ඒවා පිළිවෙලට හදන විදිය මං බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්...
සේපාලි ඒ විදියටම තමයි මගේ ජීවිතෙත් පිළිවෙල කරන්නෙ කියලා මට ඒ වෙලාවෙ මතක් වුණා...
බුදුන් වැදලා ඉවර වෙලා බෝධිය ගාව පොඩි තාප්පෙන් එහා පැත්තෙ වැලි මලුවට ගියේ අවුරුදු 2කට කලින් සේපාලි මගේ වුණ අද දවසෙම ඒක කියනවා කියලා හිතාගෙන...
"සේපාලි"
මං එයාට නම කියලා කතා කරන්නෙ එක්කො කේන්ති ගියාම හරි වැදගත් දෙයක් කියන්න හරි කියලා දන්න නිසා එයා මගේ අත තද කරලා අල්ලගත්තා...
මං තව පාරක් එයාගෙ මූණ දිහා බැලුවා...නලල ඉඹින්න ලොකු ආසාවක් ආවත් ඉන්නෙ පන්සලේ කියලා මතක් වෙලා ඒ හැගීම පැය භාගයකට කල් දාගත්තා...
"මං මගේ ජීවිත කාලෙ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා අම්මා...ඒක අදටත් එහෙමයි...මගේ ලෝකෙ ඉඩක් තිබුණ එකම ගෑණු කෙනා මගේ අම්මා විතරයි....හැබැයි මං කැමතියි මගේ ඒ චූටි ලෝකය තව ගොඩාක් ලස්සන තැනක් කරගන්න.
ඔයා මාත් එක්ක මේ විදියටම ඉන්නවා නේද අපේ ඒ ලස්සන ලෝකය ටිකෙන් ටික හදාගන්න..
මං පොරොන්දු වෙනවා හැමදාම ඔයාගෙ සතුටකදි වගේම ඔයාගෙ හැම දුකකදිම ඔයාගෙ ලගින් ඉන්න...
මං දන්නෙ නෑ මට ඔයාට ගොඩක් ලොකූ දේවල් දෙන්න පුළුවන් වෙයිද කියලා ...හැබැයි මං එක දෙයක් හොදටම දන්නවා...ඒ තමයි මට පුළුවන් ඔයාව හැමදාම සතුටින් තියන්න...
ඔයා මාව කසාද බඳිනවද...?? ❤
0 comments:
Post a Comment