ශ්‍රී ලංකා ඉතිහාසයේ වීරයා දුටුගැමුණුද ?

අපේ රට වසර දහස් ගණනක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තියෙන රටක්..අපේ මේ ඉතිහාසය ගැන කතා කරද්දී විවිධාකාරයේ මුලශ්‍ර ගැන කතා කරන්න වෙනවා..මහාවංශය කියන්නේ අපේ ඉතිහාසය ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි මුලාශ්‍රයක්.. හැබැයි මේ මහාවංශයේ එන හැම කරුණක්ම අපිට ඒ විදියටම පිළිගන්න පුළුවන් කමක් නෑ.. මොකද මහාවංශයේ එන ගොඩක් දේවල් මහාවංශය ලියපු ධර්මසේන හිමියන්ගේ පුද්ගලික රුචි අරුචිකම් වලට අනුව අඩු වැඩි වශයෙන් ලියලා තියෙනවා කියල කියන්න පුළුවන්..

මහාවංශයට අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වීරයා දුටුගැමුණු රජතුමා. මේක ගැන පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මහාවංශයේ තියෙන පරිච්ඡේද 35 න්  පරිච්ඡේද 6 ක්ම  වෙන් කරලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා වෙනුවෙන්..!!!

අපිත් පුංචි කාලේ ඉගෙන ගත්තේ අපේ ඉතිහාසයේ වීරයා දුටුගැමුණු කුමාරයා කියලා..
මට මතකයි ගැමුණු කුමාරයා පොඩි කාලේ අත පය අකුලාගෙන නිදාගෙන ඉදිදී එහෙම ඉන්නේ ඇයි  කියල ගැමුණු කුමාරයාගේ අම්මා වෙච්ච විහාරමහාදේවිය අහපු වෙලාවේ "උතුරින් හැඩි  දෙමලු..දකුණෙන් මහා මුහුද.. ඉතින් කොහොමද මං අත් පා දිගෑරල නිදාගන්නේ" කියලා උත්තර දුන්නයි කියන කතාව එහෙම අපි ඉගෙන ගත්ත විදිය...


කොහොමහරි වයසින් වැඩෙද්දී ගැමුණු කුමාරයා තමන්ගේ පිය රජතුමාට ගැහැණු ඇඳුම් පැළදුම් යවපු කතාව අපි ඔක්කොම අහල තියෙනවා..ඔය සිදුවීමෙන් පස්සේ තමයි ගැමුණු එහෙමත් නැත්තන් ගාමණී කියන නම දුටුගැමුණු එහෙමත් නැත්තන් දුෂ්ට ගාමණී වුනා කියන්නේ..ඔය සිද්ධියෙන් පස්සේ ගැමුණු කුමාරයා කොත්මලේට පැනලා යනවා...මේ අතරවාරයේදී ගැමුණු කුමරුගේ පියා වෙච්ච කාවන්තිස්ස රජතුමා ලංකාව පුරා හිටපු ශක්තිමත් පුරුෂයෝ එකතු කරලා දැවැන්ත හමුදාවක් හදනවා...නන්දිමිත්‍ර ඇතුළු දස මහා යෝධයෝ නායකත්වය ගත්තේ එහෙම හදපු ශක්තිමත් හමුදාවට...

ඒ විතරක් නෙවෙයි දුරදර්ශී පාලකයෙක් වෙච්ච කාවන්තිස්ස රජතුමා මුළු රටම කුඹුරු අස්වද්දලා රට සහලින් ස්වයං පෝෂණය කරනවා..තරුණ දුටුගැමුණුට නොපෙනුනාට කාවන්තිස්ස රජතුමා කියන්නේ බයගුල්ලෙක් නෙවෙයි..ඔහු දූරදර්ශි ඉවසිලිමත් පාලකයෙක්..ඔහු දැක්කා රට ඒ මොහොතේ යුද්ධයකට සුදානම් නැහැ කියලා..ඔහු කලේ රට දීර්ඝ කාලීන යුද්ධයකට සුදානම් කරපු එක...රටම අස්වද්දලා අටුකොටු  සහලින් පුරවලා ඔහු කලේ ඒක...

බඩගින්නේ ඉන්න මිනිස්සු ටිකක් එක්ක යුද්ධ කරන්න බෑ කියන එක කාවන්තිස්ස රජු දැනගෙන හිටියා..අනිත් එක ඔහු දැක්කා රට යුද්දයට සුදානම් නැති මොහොතක යුද්දයකට ගොස් පැරදුනොත් එවකට ශක්තිමත් වගේම ස්ථාවර පාලනයක් අරන් ගියපු එළාර දකුණ තෙක්ම තමන්ගේ ආක්‍රමණය මෙහෙයවන්න පවා පුළුවන්කම තිබුන බව...එහෙම වුනොත් සමස්ථ ලංකාවේම සහ බුදු සසුනේ කතාවම මිට වඩා වෙනස් වෙන්න ඉඩක් තිබ්බා...

කොහොමහරි කාවන්තිස්සගේ මරණින් පස්සේ තිස්ස කුමාරයා එක්ක වෙච්ච සටනකින් පස්සේ දුටුගැමුණු රුහුණේ රජ වෙනවා...එහිදී ඔහුට ලැබෙන්නේ තමන්ගේ පියා විසින් ගොඩනගපු අටුකොටු පිරුණු ශක්තිමත් රුහුණක් වගේම ඔහුගේ පියා විසින්ම ගොඩනගපු ලංකාවේ හතර දෙසින් හිටපු දක්ෂම මිනිසුන් එකතු කරලා හදපු දැවැන්ත හමුදාවක්... 

ඊට පස්සේ දුටුගැමුණු තමන්ගේ පොඩි කාලේ ඉදන් තිබුණු අරමුණ වෙච්ච රට එක්සත් කිරීම කියන අබියෝගය භාරගන්නවා...මාස ගණනාවක සටන් වල ප්‍රතිපලයක් විදියට අනුරාධපුරයට එන දුටුගැමුණු එළාර රජුට ද්වන්ධ සටනකට ආරාධනා කරනවා...බැලු බැල්මට දහස් ගණන් මිනිසුන්ගේ ජිවිත බේරගන්න ගත්ත නිර්භීත තීරණයක් වගේ පෙන්නේ...හැබැයි ඒ වෙනකොට එළාර කියන්න අවුරුදු 70ක විතර මහල්ලෙක්...එතකොට දුටුගැමුණු කියන්නේ වසින් ඊට භාගයක් විතර වෙන තරුණයෙක්... ඔබ සහ ඔබේ සීයා අතර සටනක් හිතේ මවාගන්නකෝ..!!!

හැබැයි එතැනදී දුටුගැමුණුට වැරද්දක් කියන්න බෑ..ඒක දේශපාලන උපාය ශුරත්වය කියන්න පුළුවන්..ඒක රජෙකුට අනිවාර්යෙන්ම තියෙන්න ඕන ලක්ෂණයක්නේ..ඔන්න ඔය විදියට දශක කිහිපයක විදේශීය පාලනයක් නිමා කරලා දුටුගැමුණු රට එක්සත් කරනවා..ඊට පස්සේ ඔහු ඒ වෙනකොට අනුරාධපුරයේ වල් බිහිවෙමින් තිබුණු වැව් ප්‍රතිසංස්කරණය කරලා බෞද්ධ වෙහෙර විහාර ගොඩ නගලා දැහැමි සහ ශක්තිමත් පාලනයක් ගෙන යනවා..

අපි කතා කරන අනිත් රජතුමා තමයි වළගම්බා රජතුමා..මේ රජුත් රට එක්සේසත් කරපු පාලකයෙක්...හැබැයි ඔහුට රට එක්සේසත් කරන්න යන්න වුන මාර්ගය දුටුගැමුණුට වගේ ගල් මුල් අයින් කරලා දීපු පාරක් නම් නෙවෙයි...

වළගම්බා රජු රජවීමෙන් මාස කිහිපයකට පස්සේ දකුණේ තිස්ස නම් බ්‍රාහ්මණයෙක් රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කරනවා..මේ කාලයේම දකුනු ඉන්දියාවේ ද්‍රවිඩ නායකයින් 7 දෙනෙක් ඇති විශාල හමුදාවක් එක්ක මේ රටට ගොඩ බහිනවා...දෙපැත්තෙන්ම රජුට පණිවිඩ එනවා සිංහාසනය භාර දෙන්න කියලා...

මෙහිදී වළගම්බා රජු අපුරු උපක්‍රමයක් පාවිච්චි කරනවා..ඔහු තිස්ස බ්‍රහ්මණයාට පණිවිඩයක් යවනවා ඔහු ද්‍රවිඩ ආක්‍රමනිකයින් පරාජය කරොත් තමන් ඔහුට සිහසුන භාර දෙනවා කියලා..තිස්ස බ්‍රාහ්මණය මේ කපටි උපක්‍රමයට අහුවෙනවා..ද්‍රවිඩ ආක්‍රමනිකයින් එක්ක යුද්ධයට යන තිස්ස  බ්‍රාහ්මණයා යුද්ධයෙන් පරාජය වෙනවා...එත් ඊට පස්සේ ද්‍රවිඩ ආක්‍රමණිකයෝ වළගම්බා රජ්ජුරුවෝ එක්ක සටන් කරලා ඔහුව පරාජය කරලා අනුරාධපුරය යටත් කරගන්නවා..යුද්ධයෙන් පරාජය වුනු වළගම්බා රජු පලායනවා...මෙහෙම පලා යද්දී රජුගේ බිසවක් වුනු සෝමාදේවිය රජුට පැනයන්න අවස්තාව සලසමින් රථයෙන් බිමට පැන්නා කියල කියවෙනවා...

කොහොමහරි වළගම්බා රජුගේ පරාජයෙන් පස්සේ අවුරුදු 14ක් තිස්සේ මේ ද්‍රවිඩ ආක්‍රමණිකයෝ රට පාලනය කරනවා...මේ කාලයේ රජු මලය රට සැඟවී ඉන්නවා..මේ කාලය පුරාවට රජුට ආරක්ෂාව සපයන්නේ කුප්පික්කිල තිස්ස කියල හිමිනමක්..මේ කාලයේ රටට ඉතාම අභාග්‍යසම්පන්න කාලයක් උදා වෙලා තිබ්බ කියලා තමයි ඉතිහාසයේ කියවෙන්නේ..වසර ගණනාවක් පුරා ඉතා දරුනු සාගතයක් මේ කාලයේ පැතිරගිහින් තියෙනවා...

එකක් පිට එකක් ආපු මේ අභියෝග මැද වළගම්බා රජ්ජුරුවෝ සේනාවක් සංවිධානය කරත් රජු හා ඇමතිවරුන් අතර ඇතිවූ ආරවුලක් නිසා ආක්‍රමණය නවතා දැමීමට සිදු වෙනවා...ඒත් පසුව නැවතත් හමුදාව ප්‍රතිසංවිධානය කරගෙන රජතුමා අනුරාධපුරය ආක්‍රමණය කරලා සත් ද්‍රවිඩයන්ගෙන් අවසාන පාලකයා වුනු දාඨිය පරාජය කරලා ආයෙත් සිහසුන දිනාගන්නවා...


ඉන් අනතුරුව අභයගිරිය නම් අතිවිශාල විහාරයක් කරවා තමාට සිහසුන යළි ලබාගන්න උදව් කල තිස්ස හිමිට එය පූජා කරනවා...මෙය තමයි ලංකා ඉතිහාසයේ භික්ෂුවකට පුද්ගලිකව පන්සලක් පුජා කළ ප්‍රථම අවස්තාව..කොහොමවුනත් මේ පූජාව ශාසනයේ බෙදීමක් ඇති කරන්න පවා හේතු වෙනවා..ඉන් අනතුරුව තමයි මහාවිහාරය සහ අභයගිරිය කියල භික්ෂු සංස්ථාව කොටස් දෙකකට බෙදෙන්නේ...මෙන්න මේ හේතුව නිසා තමයි මහාවිහාරික භික්ෂුවක් වුනු ධර්මසේන හිමියන් ලියපු මහාවංශයේ වළගම්බා රජතුමා වෙනුවෙන් පේලි කිහිපයක් විතරැක වෙන්නේ...සමහරවිට මහාවංශය කුප්පික්කල තිස්ස හිමි ලිව්වානම් ලංකා ඉතිහාසයේ වීරයා කවුරු වෙයිද කියලා හිතාගන්න පුළුවන් ඇති කියලා හිතනවා...


අවසානයේ කියන්න ඕන මේ ලිපියේ අරමුණ වුනේ එක් රජකෙනෙකුට වඩා තවත් රජ කෙනෙක් උසස් සහ ශ්‍රේෂ්ඨ යැයි කියන එක නෙවෙයි...දුටුගැමුණු සහ වළගම්බා කියන රජවරු දෙදෙනාම ඒ මොහොතේ තමන්ගෙන් ඉටුවෙන්න ඕන යුතුමක් හරියට කරපු රජවරු දෙන්නෙක්...මේ ලිපියේ එකම අරමුණ වුනේ අපිට කියල දීලා තියෙන අපිට උගන්නලා තියෙන දේවල් ඒ විදියටම හිතන් ඉන්නවට වඩා ඒ දේවල් ගැන වෙනස් විදියකට හිතන්නත් අපිට පුළුවන් වෙන්න ඕන කියන එක මතක් කරන්න...ඉතිහාසය ගැන අපිට මේ විදියට හිතන්න පුරුදු කරපු ආනන්ද විද්‍යාලයේ උසස්පෙළට අපිට ඉතිහාසය උගන්නපු නිමල් සර් ව මේ වෙලාවේ මතක් කරන්නම ඕන...!!!

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment