පොහොට්ටුවේ අරගලය...!!!

අලියා හාන්සිය...ආයේ මෑතක නොනැගින්නටම හාන්සිම හාන්සිය...පොහොට්ටුව මුළු රට පුරාම පිටිය සුද්ධ කරගෙනම ජයග්‍රහණය කර ඇත...පිට පිටම ජනාධිපතිවරණයකින් සහ මහා මැතිවරණයක් යන මැතිවරණ දෙකකින්ම පරාජය වූ "තනි පුද්ගලයෙකු" විධායක ජනාධිපතිවරයෙක් දණගස්සවා ඇත... ශ්‍රී ලංකාවේ තනි විශාලතම පක්ෂය ලෙසින් හදුන්වාගත් එක්සත් ජාතික පක්ෂය තීරණාත්මක ලෙස පරාජය කර සුන්නද්දුලි කර ඇත..‍එමෙන්ම ඔහුට එරෙහිව සිටි සියලු බලවේග එක පෙලට සිටුවා එකට පරාජය කර ඇත...විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පැරදුනු වහාම ඔහු අතැර ගිය සහ මහා මැතිවරණයේත් ඔහුගේ රුව සහ නම භාවිතා කර ඡන්ද කර ඔහුව හැරගිය "අප්පච්චි මළෝ" කණ්ඩායම මේ මැතිවරණ ප්‍රථිපලයෙන් නිරුවත් කර සමූහ දූෂණයට ලක් කර ඇත...

මේ අතර රනිල් වික්‍රමසිංහ නම් වූ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේම පහල වූ අසාර්ථකම නායක රත්නය බව යලිත් ඉතා සාර්ථකව ඔප්පු කර ඇත.....ඔහු 1994 සිට විපක්ෂයේ සිට 2002 දී බොහොම අමාරුවෙන් ලබාගත් ආණ්ඩුව අවුරුදු 2කකින් පුජා කළේය...මෙවරත් එමගෙහිම යමින් එදාටත් වඩා අමාරුවෙන් දිනාගත් ආණ්ඩුව වසර 2කට පසුව තීරණාත්මක ලෙස පරාජය කරගෙන ඇත...එබැවින් එක්සත් ජාතික පාක්ෂිකයින් අනාගත ජයග්‍රහණයක් ගැන සිතන්නේ නම් පලමුවෙනම කල යුතු වන්නේ යලි පල නොදරන නායක රනිල් ඇතුළු වඳපිදුනු කෙසෙල් ගස් සියල්ල ගලවා දමා අලුත් ගස් ටිකක් සිටවිමය..ඒ ඇරුණු කොට එක්සත් ජාතික පක්ෂයේ 2020 බලාපොරොත්තුව රනිල් වික්රමසිංහ නම් ඒ ඡන්දය වෙනුවෙන් මහන්සි වෙනවාට වඩා ගෙදරට වී මිරිස් පැල ටිකක් වගාකරගැනීම ප්‍රයෝජනවත්ය...

නමුත් මා සිතන අයුරින් මේ ජයග්‍රහණයත් සමග වැඩිම වගකීමක් පැවරී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාටය...මන්ද මේ දිනා ඇත්තේ ප්‍රාදේශීය සභාවල අපේක්ෂකයන් නොවේ..මේ දිනා ඇත්තේ වැව් බන්ට් එක උඩ මාළු ගුණේ අයියාවත්, හන්දියේ ආප්ප කඩේ සුදු අක්කවත් නොව මහින්ද රාජපක්ෂය..මහින්ද රාජපක්ෂ නම් තනි පුද්ගලයාය...නමුත් ඉදිරි වසර කිහිපය ප්‍රාදේශීය සභාව පාලනය කරන්නේ ආප්ප කඩේ සුදු අක්කාය..වැව බන්ට් එක උඩ මාළු ගුණේ අයියාය ... එතැනදී මහින්ද රාජපක්ෂට මේ ලැබූ ජයග්‍රහණය රැක ගැනීම වෙනුවෙන් සැහෙන්න බුද්ධිමත් ලෙස වැඩ කල යුතුව ඇත...ඔහු මේ ජයග්‍රහණය හසුරවාගන්නා ආකාරය ඉදිරි කාලයේදී අපට බලාගත හැකිවනු ඇත.

මේ මැතිවරණ ප්‍රතිපලයෙන් මිනිස්සු ඉතා පැහැදිලිවම ලබා දී ඇති පණිවුඩය වන්නේ කවුරුන් කෙසේ කොහොම මොනවා කිව්වත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සහ ශක්තිමත්ම තනි දේශපාලන පෞර්ෂය මහින්ද රාජපක්ෂ වන බවය...එහෙත් රාජපක්ෂ පාඩමක් ඉගෙන ගෙන ඇත්නම් ඔහුව එදා හැර ගියපු හෙට අනිද්දා දිනවල හතර ගාතෙන් වැටී මහින්ද රාජපක්ෂගේ කකුල් දෙක මුල ඇදවැටීමට නියමිත තක්කඩියන් ( දැන් වටේ ඉන්නෙත් ඊටම නොදෙවෙනි තක්කඩියන් බව වෙනම කතාවකි) ගේට්ටුවෙන් ඇතුළට වද්දා නොගැනීමට වගබලා ගතයුතුය...ඔහු බලයේ සිටියදී මෙන්ම සැලුන් දොර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පටන් ගතහොත් අලුත් ආරම්භයක් වෙනුවෙන් ජනතාව ඔහු වෙත ලබා දුන් මේ ජනවරම ඉදිරි මැතිවරණ වලදී පැහැදිලිවම වෙනස් වනු ඇත...!!!

අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ 2015 ජනවාරි 8 වෙනිදා නැවුම් බලාපොරොත්තුවක් වෙනුවෙන් එකතු වූ ලක්ෂ 62 ම සමනල් හැඟුමන් අතරේ නොයිදුල් පැතුමන් සෙවූ රනිල්ට අධෝවාතයක් ගියත් "අහෝ එවන් අද්විතීය අධෝවාතයක් අරිය හැක්කේ ගරු වික්‍රමාන්විත සිංහයාණෙනි ඔබට පමණයි"යනුවෙන් පවසමින් දගලන රට හාවන් යැයි සිතා උන්ට කොකා පෙන්වූ පාලකයිනි...

තොපට මෙසේ වී හොදටම මදිය...!!!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment