රෝස මල් පොඩ්ඩ

"පුංචි දවස්වල නින්දට යද්දි
පීතු පාදං නමා මහං කියලා
වැන්ද දෙපා යළි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි"
පිටත් වෙන්න කලින් පසුබිමින් ඒ සින්දුව ඇහෙද්දි ඇගේ ඇගිලිවලින් මගේ ඇගිලි තද වෙද්දි මට ඇගේ මූණ බැලුණේ ඉබේටම වගේ...අවුරුදු 6කට කලින් හිටපු පුංචි කෙල්ල...මං ආදරේ කරන සුන්දර මූණ...වෙනදටත් වඩා ලස්සනයි...ඒත් ඇගේ ඇස්වල කදුළුය...
පෙරුම් පුරලා පුරලා අපේ ආදරයේ මුල්ම හාදුව එයාගෙ නලලෙන් තියපු දවසෙ එයාගෙ ඇස්වලට කවදාවත් කදුළක් දෙන්නෙ නෑ කියලා වෙච්ච පොරොන්දුව ඉටු කරන්න එක්ක යන්න කලින් වැටෙන මේ කදුළු නවත්තන්න පුලුවන් කදුළු නෙවෙයි කියලා මං දන්නවා...
එයා ගැන මේ ලෝකේ කාටත් වඩා දන්න නිසා එයාගෙ ඇස් වලින් තව විනාඩියක් ඇතුළත ගලාගෙන යන්න නියමිත කදුළුවලට උරහිස දෙන්නට සූදානම් වීමි...උරහිසට බරවුණු ඇය අඩන්න පටන් ගත්තා...
එයාගේ ජීවිතයේ එයා වැඩියෙන්ම හීන මවපු දවසෙ ඒ වැටෙන්නෙ සතුටු කදුළු නෙවෙයි දුකට වැටෙන කදුලු කියලා දැන දැනම මං ඒ කදුලු වලට ඉඩ දුන්න..
එයාගෙ අම්මා කියන්නෙ එයා "අම්මා" කියලා කියන්නත් කලින් කිව්වෙ "තාත්තා" කියලා
ඒ කතාව ඇත්තද බොරුද කියලා මං අදටත් දන්නෙ නෑ...
හැබැයි මං එක දෙයක් හොදටම දන්නවා..එයාගෙ ලෝකෙ හිටපු සහ ඉන්න සදාතනික වීරයා එයාගෙ තාත්තා..
එයා හැමදාම මගේ අතින් අල්ලගෙන කිව්වෙ මං මේ ලෝකේ දෙවෙනියට වැඩියෙන්ම ආදරේ කරන්නෙ ඔයාට කියලා...
එයා ඕක කියන හැම වෙලාවකම මට ඉරිසියයි...මං දෙවෙනියානේ...හැබැයි ඒ අවංක අහිංසකකමට මං ආදරේ කරපු තරම කොච්චරක් ද කියලා මං කිව්වෙ නැති වුණාට ඒක මගේ ඇස්වල තියෙන්න ඇති හැම වෙලාවකම... මොකද ඕක කියන හැම වෙලාවකම එයා කතාව ඉවර කරන්නෙ මගෙ කම්මුලට ආදරය කලවම් කරපු හාදුවක් තියලා..
තාත්තව දැන අදූන ගත්තට පස්සෙ මටම තේරුණා එයා තාත්තට එච්චරම ආදරේ ඇයි කියලා...
අපේ සම්බන්ධෙට එයාගෙ ගෙදරින් කැමැත්ත හම්බෙලා මං මුලින්ම එයාලගේ ගෙදර ගිහින් එයාගෙ තාත්තා හම්බෙලා එන්න පිටත් වෙන්න හදද්දි තාත්තා එයාගෙ අත මගේ අතට දීලා කිව්වෙ "මේ ඉන්නෙ මං මගේ ජීවිත කාලෙම ආදරෙන් බලාගත්ත මගේ පුංචි රෝසමල් පොඩ්ඩ" කියලා..
"තාත්තාගේ රෝස මල් පොඩ්ඩට මං කොච්චරක් ආදරෙයි ද කියලා තාත්තා දන්නෙ නෑ " ඒ වෙලාවෙ කටින් නොකිව්වට හිතේ තිබුණේ ඔය ටික..
අවුරුදු 24ක් තාත්තගේ වෙලා තිබ්බ ඒ රෝස මල් පොඩ්ඩ අද මගේම වෙලා...
මං බැලුවෙ තාත්තගේ මූණ...
එයාගෙ ඇස්වලත් කදුළු...හැබැයි එයා ඒවා බිමට වැටෙන්න දුන්නෙ නෑ...ඒ තමයි තාත්තලා...එයාලගේ ඇස්වල කදුළු බිමට වට්ටන්නෙ නෑ එයාලා...
එයාව එක්ක යන්න කලින් ආයෙත් පාරක් එයාව අතින් අල්ලගෙන එයාගෙ තාත්තා ගාවට එක්කගෙන ගිහිල්ලා එයාගෙ දුවව එයාට තව එක පාරක් බදාගන්න දෙන්න ඕන කියලා හිතුණේ "මගේ රෝස මල් පොඩ්ඩ" අවුරුදු 24ක් ආදරෙන් බලාගත්ත ඒ සුන්දර මනුස්සයාට මාත් ආදරේ කරපු හින්ද වෙන්නැති...
"තාත්තේ ඔයාගෙ රෝස මල් පොඩ්ඩ මං අරන් යනවා...!!! " 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment