මේ ආණ්ඩුවෙන් මොනවද කරන්නේ ???


ලෝකේ එක එක රටවල මිනිස්සු එක එක විදිය වීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
අපේ රටේ වුනත් ඉන්නවා එක එක විදියේ මිනිස්සු...
සමහර මිනිස්සු සරලව ජිවත් වෙන මිනිස්සු. සමහර මිනිස්සු සංකීර්ණ ජිවන රටාවක් එක්ක ඉන්න මිනිස්සු.. එක එක විදියේ මිනිස්සු.. හැබැයි මේ හැම විදියකම මනුස්සයෙක්ම දේශපාලනික මනුස්සයෙක්.. සමහරවිට සමහරු මේකට එකග වෙන එකක් නැහැ.. ඒත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි හැමෝම දේශපාලනිකයි.
අපි දේශපාලනික මිනිස්සු වුන පලියටම අපි එක පාට කණ්නාඩියක් දාගත යුතුද...? මේ ප්‍රශ්නයට සරලම උත්තරය "නැහැ" කියන එක.
අපි පාට කණ්නාඩිය ගලවපු තරමට තමයි අපි "නියම දේශපාලන මිනිස්සු" වෙන්නේ.
එතකොට අපිට දකින්න පුළුවන් ප්‍රමාණයේ සීමාවක් නැහැ. අපිට හැම දෙයක්ම විවෘතව බලන්න පුළුවන්. මං හිතන්නේ ඒකත් නිවන් දැක්කා වගේම එක්තරා විදියක සුන්දර නිදහස් වීමක්... දේශපාලන පක්ෂයක, පුද්ගලයෙකුගේ අන්ධ අනුගාමිකයෙක් නොවී නිදහස් මිනිසෙක් වෙන එක සුන්දර වගේම සැහැල්ලු අත් දැකීමක්..
මට මේ ටික ලියන්න ඕන වුනේ පොඩි හේතුවක් නිසා..

අද බොහෝමයක් වෙලාවට TV එකක් දැම්මත්, රේඩියෝ එකක් දැම්මත්, පත්තරයක් ගත්තත්, කොටින්ම Facebook එකට ගියත් අපි හැම තැනම මං මේ දේශපාලන වහල්කම දකිනවා.. මං මේ කියන්නේ අවේණික හෝ තමන් ප්‍රියකරන දේශපාලන මතයක් තිබීම වරදක් කියලා නෙවෙයි.. යම් කිසි දෙයක් හොඳ නරක ගැන මධ්‍යස්තව හිතන්න බැරි වහල්කම ගැන..
මේ කාලයේ හැමතැනම අහන්න දකින්න හම්බෙන ප්‍රශ්නයක් තමයි "මේ ආණ්ඩුවෙන් මොනවද කරන්නේ" කියන ප්‍රශ්නය...
එහෙමත් නැත්තන් ඒ හැම තැනකම දකින්න ලැබෙන දේ තමයි " මේ ආණ්ඩුවෙන් මොකුත් කරන්නේ නෑ..ඇඟට දැනෙන, ඇහැට පේන සංවර්ධනයක් කෙරෙන්නේ නෑ" කියන එක.
ඇත්තටම මේ කතාව ඇත්තද ?
මේ ආණ්ඩුව මොකුත්ම කරන්නෙම නැද්ද...??
මටත් හිතුන මේ ගැන ඇත්තටම ටිකක් කතා කරන්න.
මිට පෙර පැවතී පාලන යුග වලදී නම් වෙනත් වැඩසටහනක් විකාශය වීමට වෙලාවක් හොයාගන්න අමාරු වෙන තරමටම එක එක විදියේ වාර්තා වැඩසටහන්, විශේෂ සාකච්ඡා වගේ දේවල් වලින් රාජ්‍ය මාධ්‍ය පිරෙන තරමේ මහා වැඩ සටහනක් අගෝස්තු 01,02,03 කියන දවස් තුනේ පොළොන්නරුවේදී සිද්ධ වෙනවා..
හැබැයි කවුද දන්නේ එහෙම එකක් මේ රටේ වෙනවා කියල ?
ප්‍රශ්නය තියෙන්නේ එතන.
මේ රටේ මිනිස්සු ඉන්න තැනින් එක අඩියක් හරි උඩට ගන්න පුළුවන් වැඩක් මිනිස්සු වෙනුවෙන් සිද්ධ වෙනවනම් මං ඒ වෙනුවෙන් හැම වෙලාවේම පෙනී ඉන්නවා.. මොකද මේ රටට ඕන මහින්ද වාදින්වත්, රනිල් වාදින්වත් , මෛත්‍රී වාදින්වත්, අනුර වාදින්වත් නොව "ජනතා වාදීන්" නිසා..
නරකක් දැක්ක ගමන් විවේචනය කරනවා වගේම හොඳක් දැක්ක ගමන් අගය කරන්න බැරි මනුස්සයෙක් කියන්නෙත් එක්තරා විදියක කාගෙහරි හිරකාරයෙක්...
මේ මට හිතෙන දේ  "නිදහස් පුරවැසියෙක්" විදියට..!!!
ඈත අතීතයේ පුරාණ රජ දවසේ පවා මුලින්ම පොලොන්නරුව භාවිත වුණේ උප නගරයක් විදියට. අනුරාධපුරය තමයි අගනගරය විදියට දීර්ඝ කාලයක් භාවිතා වුණේ. ඒත් අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් අනතුරුව පොලොන්නරුව රාජධානියක් ලෙස වර්ධනය වීම ආරම්භ වුණා. මහා පරාක්‍රමබාහු වැනි රජවරුන් යටතේ පොලොන්නරුව සිය ස්වර්ණමය යුගය කරා එළඹියත් පසුකාලිනව පත් වූ දුර්වල පාලනයන් සහ විදේශ ආක්‍රමණ වලට නතු වූ පොලොන්නරුව රාජධාණිය ක්‍රම ක්‍රමයෙන් බිදවැටුණා..ඊට පස්සේ අපේ රටේ රාජධාණි නිරිතදිගට සංක්‍රමණය වීම නිසා කාලයක් ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ සංකේතයක් වගේ තිබුණු පොළොන්නරුව වල් බිහිවෙලා ශ්‍රී ලංකා ඉතිහාසයෙන් අමතකව වෙලා යනවා..
වසර සිය ගණනකට පස්සේ පොළොන්නරුව ගැන නැවතත් කතාබහක් ඇතිවෙන්නේ ඩී .එස්. සේනානායක මැතිතුමාගේ ගොවිජනපද ව්‍යාපාරයත් එක්ක.. මේත් එක්කම පිට පළාත් වලින් පැමිණි ජනතාව පොලොන්නරුව සිය වාසභූමිය කරගන්නා අතර කර්කෂ මහපොළොව සමග පොර බදමින් ජිවිත සරිකරගන්න පටන් ගත්තා..
මහපොළොව සමග පොර බදන්නට හිතේ දහිරියත් ගතේ විරියත් ඔවුන් සතු වුවත් පානීය ජල ගැටලුව, කාලෙන් කාලෙට එන විවිධාකාරයේ රෝග පිඩා නිසා මේ පොළොන්නරුවේ මිනිස්සුන්ගේ ජීවිත ඒ තරම් සුන්දර වුනේ නැහැ..
නිදහසෙන් පස්සේ පවා පොළොන්නරුව ජනතාව වෙනුවෙන් කැපවීමෙන් මහන්සි වූ අතලොස්සක් නායකයින් අතර මුලිකයා වන්නේ සී.පී සිල්වා මැතිතුමාය. එහෙත් සැරින් සැරේ ඉදිවන පාසල් ගොඩනැගිල්ලක්, ප්‍රජා ශාලාවක්, හුදෙකලා වීදුලි ව්‍යාපෘතියක්, ජල ව්‍යාපෘතියක් හැරුනුකොට පොලොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් සැලසුම්සහගත සංවර්ධනයක් සිදු වුයේ නැත්තේ පොළොන්නරුව ජනතාවගේ අවාසනාවටද මේ රටේ පහල වූ නායකයින්ගේ අදක්ෂකමටද කියන එක විසදුම් නැති ප්‍රශ්නයක්. ඇතැම්විට දිස්ත්‍රික්කය නියෝජනය කල නායකයින්ට "ලකුනු වැටෙයි" කියන භය නිසා සමහර සංවර්ධන ව්‍යාපෘති අල්මාරි වල ගොඩ ගැහුණු ව්‍යාපෘති යෝජනා පමණක්ම බවට පත්වීම එක්තරා විදියක අවාසනාවක්.. ඒත් අවාසවනාවකට අපේ රටේ දේශපාලනයේ එක පැත්තක් ඒක.. "සියලු වැඩ කළ යුත්තේ මමය" යන මානසිකත්වය අපේ රටේ සංවර්ධනය ආපස්සට ඇදලා දාන පිළිකාවක් වගේ දෙයක්..
කොහොමහරි බාධක කෙනෙහිලිකම් මැද යම් යම් සංවර්ධන ක්‍රියාදාමයන් එක්ක හෙමින් සැරේ ඉදිරියට බඩගාපු පොළොන්නරුවෙන් අවසානයේ රාජ්‍ය නායකයෙක් බිහිවෙනවා. පොළොන්නරුවට රටේ නායකත්වය යන්නේ වසර සිය ගානකට පස්සේ..ඉතින් මේ නායකයට අවශ්‍ය වෙනවා තමන් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තුවේ පසුපෙළ ඉදගෙන පවා හීන දැක්ක සංවර්ධනය පොළොන්නරුවට අරන් යන්න.
ඔහු දශක ගණනාවක් පුරා දැක්ක හීනය හැබෑ කරන්න ඔහු නිර්මාණය කරනවා මුළු දිස්ත්‍රික්කයම ආවරණය වෙන විදියේ දැවැන්ත 5 අවුරුදු සංවර්ධන වැඩ පිළිවෙලක්. මේ වැඩපිළිවෙල වෙනුවෙන් රුපියල් කෝටි 6000ක් වෙන් වෙනවා... 2015 මේ දැවැන්ත සංවර්ධන වැඩ පිළිවෙල ආරම්භ වෙනවා...හැබැයි මේ 5 අවුරුදු සැලසුමෙන් සිද්ධ වෙන සංවර්ධනය අපේ මේ රටේ මෙච්චර දවසක් වුන ව්‍යාපෘති වලට වඩා වෙනස්...මෙච්චරකල් අපේ රටේ සිද්ධවුන මහේශාඛ්‍ය සංවර්ධනයෙන් සිදු වුණේ නායකයාට අවශ්‍ය දේ ජනතාවට ලැබෙන එක...හැබැයි මේ පාර වෙන්නේ ජනතාවට අවශ්‍ය දේ නායකයා විසින් ලබා දීම.. අපේ රටේ සංවර්ධන චක්‍රයේ මේ සිදුවුණු වෙනස් වීම අතිශය වටිනා සන්ධිස්ථානයක්..මේ සංවර්ධන ව්‍යාපෘති වලින් වෙන්නේ දිස්ත්‍රික්කයට "අවශ්‍ය දේවල්"... පොළොන්නරුවේ දරුවන්ගේ අධ්‍යාපන පහසුකම්, පොළොන්නරුවේ මිනිස්සුන්ට මෙච්චරකල් මහා අඩුපාඩුවක්ව තිබුණු හොඳ දියුණු සෞඛ්‍ය පහසුකම්, ආගමික හා සංස්කෘතික අංශයේ සංවර්ධනය වෙනුවෙන් වන ව්‍යාපෘති , පොළොන්නරුවේ පානීය ජල ප්‍රශ්නය විසඳන ජල ව්‍යාපෘති වගේ ජනතාව ඉල්ලන, ජනතාවට මෙච්චරකල් අඩුපාඩුවක්ව තිබුණු, පොළොන්නරුවේ මිනිස්සු බලාපොරොත්තුවේ දෑසින් බලන් හිටපු දේවල් තමයි මේ 5 අවුරුදු සැලසුමෙන් ඉෂ්ඨ වෙන්නේ..
අගෝස්තු 01,02,03 යන දවස් වල ජනතා අයිතියට පැවරෙන්නේ ජනතාවට අත්‍යවශ්‍යව තිබුණු "ජනතාවාදී සංවර්ධන ව්‍යාපෘති" 180ක්...
මං විශ්වාස කරනවා නරකට පලු යන්න බනිනනවා වගේම මේ වගේ හොඳ ජනතාවාදී ව්‍යාපෘති ගැනත් පුරවැසියෝ විදියට යම්කිසි කෘතවේදිතාවයක් දක්වන්න ඕන කියල...
බුදුහාමුදුරුවෝ කිව්වා වගේ හොඳ දේ හොද හැටියටත් නරක දේ නරක හැටියටත් දකිමු.
ඉතින් අපි අඳුරට ශාප කර කර ඉන්නවා වෙනුවට එක පහනක් හෝ දල්වමු...!!!

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment